Monday, January 31, 2011

අවසන් දවසේත්

මහා බ්ලොග් සතියේ අන්තිම දවසටත් ඇවිල්ලා.සතියක් තිස්සේ එක දිගටම ලියාගෙන ආවත් ඊයේ ලියන එක මග හැරුනා.කොහොම හරි එකක් ලියනවා කියලා ලියන්න ගත්තත් බාගෙට ලියලා නැවැත්තුවේ හදිසියේම ගෙදරින් පිට යන්න වූ නිසා.ඒක ඉතින් ආයේ දමන්නේ මොකටද ?

ඒ කොහොම වෙතත් මේ අද දවස වෙනුවෙන්.අද විශේෂ දවසක්.වෙන් කරලා තියෙන්නේ විශේෂ වැඩකට.බ්ලොග් අවකාශයේ සහෝදර කැළගේ එකමුතුකම ලෙංගතුකම අගයන්න ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ඕනි කියලා හිතලා ලියන්න ගනිපු මේ බ්ලොග් එක අවසන් කරන්න යන්නෙත් ඔවුන්ගේම එකකු වෙනුවෙන් ඔවුන්ගේ ඇපකැපවීම ගැන ලියලා.

"ඉලංදාරියා".දැන් ආගිය අතක් නැතිව ඉන්න දිල්ගේ අතීතයෙන් අහුලන මතකයන් බ්ලොග් අඩවිය හරහා තමයි මම ඉලංදාරියාගේ අඩවියට ගොඩ වැදුණේ.මතක හැටියට ගිය අවුරුද්දේ මැද හරියේදී වගේ.හැම වෙලේම හිතට කුතුහලයක් එක කරපු ඒ කවි සිතුවිලි වල තිබුණු නොකියූ කතාව හරියටම දැන ගන්න ලැබුණේ ගිය සතියේ.මගේ පෞද්ගලික ජීවිතයට තදින් සම්බන්ධව හිටි කෙනෙකු සිහි ගන්වන හදවතේ ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කරන මේ සටහන දෙනෙත් තෙත් කළා කීවොත් හරි. ඒ කම්පනය නොදැනුණොත් ඒ මනුෂ්‍යත්වය ඉක්මවා ලොකුම ලොකු මාර්ග ඵලයක් ලැබූ කෙනෙක් හරි, තවත් වෙන කවුරු හරි වෙන්න ඇති.

තවමත් දෙවි දේවතාවුන් වැනි මිනිසුන් අප අතර සිටින බව පසක් කරමින් සයිබර් අවකාශයේ සිටින අපේ සොයුරු සොයුරියෝ දිලුම් වෙනුවෙන් පෙළගැසිලා.වයස් භේදයකින් තොරව බ්ලොග් අවකාශයේ මහා පර්වත වැනි දැවැන්තයින්ගේ පටන් කුඩා තිතත් තරම් වන මගේ තැනට වෙනකම් එක පෙළට සිහින දකින්නෝ වෙලා.දිලුම්ගේ සිහිනය මේ හැමෝම දකින්නේ ඔවුන්ගේ ඇස් වලින්.හැමගේ එකමුතුවෙන් නොයෙකුත් ක්‍රියාකාරකම් අරඹලා.සිහින බක් මහ උළෙලේ මේ වෙනුවෙන්ම ඉඩක් වෙන් කරන්න සූදානම් වෙලා.මට දැනෙන විදියට මේ එකමුතුව,මේ ශක්තිමත්කම නිසා දිලුම් මල්ලීගේ හීනය, මේ හැමෝගෙම හීනය හැබෑ වෙන දිනය වැඩි ඈතක නොවන බව නම් විශ්වාසයි.

දිලුම් මල්ලි...,මේ හැමෝම ඔයා එක්ක.කවදාවත් ඔයාට වැටෙන්න නම් දෙන්නේ නැතිවෙයි.ලොකු පවුරක් වෙලා ඔයා ළඟම රැඳේවි.

එක රෑනේ පියාසර කරන තමන්ගේ එකකු වෙනුවෙන් එක්සිත්ව නැගී සිටින දයාබර සොයුරු සොයුරියන්ට මල් මිටක් පුද කරන ගමන් හිස නමා ආචාර කරන්නේ හරිම සතුටින්.මේ දයාබරත්වය වෙනුවෙන් මට දැනෙන හැඟීම විස්තර කරන්න වචන නැති නිසා.මේ අය ගැන නොදන්නා කෙනෙකු මේ කිසිවකු මීට පෙර දැන හැඳුනුම්කම් නොමැත්තවුන් බව දැන ගත් විට පුදුමයට පත් වෙනු නොඅනුමානයි.මේ සොඳුරු සිතැත්තන් ගැන දන්නා හෝ නොදන්නා අයකු මේ අඩවියට ගොඩ වැදෙන සම්භාවිතාවය බින්දුව වුණත් අහම්බෙකින් හෝ ගොඩ වැදුණු ඔබටයි මේ ඇරයුම.

එන්න..
ඔවුන් සමග එක්වන්න.
පෙළින් පෙළ සැබෑ වන හීනයක
පියවර තබන්න.

4 comments:

  1. අම්මෝ ආයිත් ලියල. කොච්චර කාලෙකට පස්සෙද ? දිලුම්ගේ අඩවියට යන්න බැරි ඇයි ?

    ReplyDelete
  2. හපොයි..මේ කවදා ලියපු එකක්ද?
    මම මේ බලන්න ආවේ වෙන කවුරුවක්වත් මොනා හරි ලියලා දාලාද කියලා.
    දිලුම් මල්ලි මේ දවස් වල රෝහල්ගත වෙලා කියලා තමයි ආරංචිය.වැඩි විස්තර අභීත අයියා දන්නවා මයේ හිතේ.

    ReplyDelete
  3. හා.. තව දෙයක්.
    මට බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උණේත් ඔබතුමාගේ වචන ටික දැකලා.ඉඳලා හිටලා හරි ඇවිත් යනවාට බොහොම ස්තුතියි

    ReplyDelete
  4. ලියනවද නැත්නම් මන් එකක් ලියල කොමෙන්ට් හැටියට දාන්නද ? මොකද විබාගයකට ක්රෑම දානවද ?

    ReplyDelete