Saturday, January 29, 2011

අත්සන කාගේද?

මේකත් ඉතින් සුපුරුදු පරිදි අපේ වනමලීගේම කථාවක් තමයි.මේක සිද්ධ වුණේ මොන කාලේද  කියන එක නම් මත හරියට මතක නෑ.දෙවන වසරේදී හෝ තුන් වන වසරේදී විය යුතුයි.

වනමලී සාමාන්‍ය පෙළ කරන කාලයේ ගණිතය සහ විද්‍යාව සඳහා අමතර පන්ති වලට ගිහින් තිබුණේ පිළිවෙලින් සූරවීර හා දිමුතු යන ගුරුවරුන් දෙපළ ගාවට.වනමලී මොකක් හරි දෙයක් ගැන කතා කරන්න ගත්තොත් අර මැක්කාගේ කතාව වගේ,ඒ කතාව ඉවර කරන්නේ අපේ සූරවීර සර් මේ ගැන කීවේ මෙහෙමයි, නැතිනම් අපේ දිමුතු සර් මේ ගැන කීවේ මෙහෙමයි කියලා.ඒ වෙනකොටත් ඒ ගුරුවර දෙපළ වනමලීගේ ගෙදර යනවා එනවා.

සමහර අය උසස් අධ්‍යාපනය හදාරන අතර තුරදීම රැකියාවලත් නිරත් වෙනවානේ.අපේ කණ්ඩායමෙත් මේ වගේ අය දෙතුන් දෙනෙක් හිටියා.අපේ මංගලීත්  මේ වෙනකොට රැකියාවක නිරත වෙනවා.අපේ අනිත් අයටත් ඔය කාලේ බොහොම තදින් උවමනාව තිබුණා රැකියාවකුත් කරද්දීම ඉගෙනීමේ වැඩ කටයුතුත් කරන්න. අවුරුදු 2 කට සැරයක් රාජ්‍ය බැංකු සඳහා බැංකු සහායකවරු බඳවා ගැනීමට ගැසට් කරනවානේ.ඔන්න අපේ කෙනෙක්ම හරහා ඔය ආරංචිය අපේ අයටත් ලැබුණා. ඒ වෙද්දී අයදුම්පත්‍ර භාර ගන්න අවසාන දිනයට ඉතුරු වෙලා තිබුණේ දින දෙකක වැනි කාලයක්.

දැන් ඔන්න අපේ අයත් ලහි ලහියේ අයදුම්පත් සකස් කරනවා.
අයදුම්පතත් එක්ක රුපියල් 150/= ක මුදල් ඇනවුමකුත් ඇමිණිය යුතු නිසා අපේ දෙන්නෙක් හැමෝගේම අයදුම් පත් එක්කාසු කරගෙන ළඟම තිබුණු නගරයට යන්නයි සූදානම.ඒ ගමන්ම ලියාපදිංචි තැපෑලටත් දාලා වැඩේ ඉවර කරගෙනම එන්න තමයි සැලසුම තිබුණේ.ගමනට සූදානම් වෙලා හිටියේ මධුමතියි, සඳමලීයි.මේ දෙන්නා අවශ්‍ය කරන මුදලුත් අරගෙන නගරයට යන්න පිටත් වුණා.කොහොමත් නැවත පැමිණීමට පැයකට වඩා නම් අනිවාර්යයෙන්ම ගත වෙනවා.

මෙන්න පැයකට කිට්ටු වෙද්දී මේ දෙන්නා එනවා හොඳටම හිනා වෙවී.නවාතැනට ඇවිල්ලත් පුටුවකට වැටිලා හිනා වෙනවා කිසිම දෙයක් නොකිය.අපි ඇහුවාම ඇයි මේ,ගිය වැඩේ හරිද කියලා මධුමතී දික් කළා ලියුම් කවරයක් මේක බලන්නකෝ කියලා.ඒකේ තිබුණේ අපේ වනමලීගේ අයදුම්පත.ඇයි මේක ආයේ ගෙනාවේ කියලා ඇහුවාට කියන්නෙත් නෑ.හිනා වෙනවා විතරයි.ඒ සැරේ සඳමලී හිනාව අතරින්ම කීවා දෙවෙනි පිටුව බලන්න කියලා.මේ වෙලාවේ වනමලීත් එතනම හිටියා.හැමෝම එක පොදියට බැලුවා මොකක්ද මේ මෙච්චර හිනා වෙන්න කාරණය කියලා.දෙවියො සිහි වුණේ ඒක දැක්කාම.

සාමාන්‍යයෙන් අයදුම්පත් වල දානවනේ නෑදෑ නොවන කෙනෙකුගේ නම.(Non related Refree)අපේ වනමලී ඒකට දාලා තිබුණේ සුරවීර සර්ගේ නම.ඒ විතරක් නම් මදෑ.අයදුම්කාරියගේ අත්සන යොදන තැනටත් හොඳ ලස්සන ලොකූ පාපිල්ලකුත් එක්ක අත්සන් කරලා "සුරවීර බණ්ඩාර " කියලා.

1 comment:

  1. ඔය වයසට ඔහොම වෙන එක මොන පුදුමයක්ද ? මම ලංකාවේ ආයතනයක වැඩ කරනකොට හිටිය මගේ තනතුරම දරන තව නෝනා කෙනෙක් පොළොවේ පයනොතිය හිස වලාකුළු අතරේ තියන් ඉන්න වර්ගයේ. දවසක් එයාට නිවාඩු යන්න ඕනවෙලා application එකේ එයා නැති කාලෙට වැඩ බලන තැන මගේ නම දාල මගේ අත්සන අරගන්න ගෙනාව.. ඉතින් ඔතන මගේ අත්සන නැත්නම් ඒ කියන්නේ නිවාඩු කාලේදී එයාගේ වැඩ කවුරුත් බලන්නේ නෑ කියන එකයි. එහෙම නම් ලොක්ක අනුමත කරන්නේ නැහැ නිවාඩු.. හරිද ? ඔන්න මම කොලේ ගත්ත පුරුද්දට මගේ යටතේ ඉන්න අයගේ ලීව් ෆෝරම් අත්සන් කරනවා වගේ වැරදිලා අනුමත කරන තැන අත්සන් කළා. අය්යෝ විනාසයි.. එයා රකුසු මුණක් හදාගෙන කොළෙත් ඉරල දාල ගියා.. මම කොච්චර කිවුවත් එයාවත් මගේ යාලුවෝ වත් විස්වාස කලේ නෑ මට වැරදීමක් උනා කියල.. උන් කියනවා උඹ හොඳ වැඩේ කලේ කියල..

    ReplyDelete