Thursday, January 27, 2011

කොපි කිරීම

උසස් අධ්‍යාපනය ලබන කාලේ පළමු වසරේදි අපට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලධර්ම කියලා විෂයක් ඉගෙන ගන්න තිබුණා.අපට දේශන කළේ බොහොම තද නීති තියෙන අකුරට වැඩ කරන ආචාර්යවරයෙක්.විනාඩි 2,3ක් වත් ප්‍රමාද නොවී දේශන ආරම්භ කිරීමත්, නියමිත වේලාවට වඩා විනාඩියක්වත් රැඳී නොසිට දේශන ශාලාවෙන් පිටවීමත් මෙතුමාගේ සිරිතක්.අපි හැමෝම මේ කාලයේදී එතුමාට සැළකුවේ බිය මුසු ගෞරවයකින්.(එතකොට ඉතින් පටන් ගත්තා විතරනේ.වසරින් වසර ඉහළට යද්දී නම් එතුමා කෙරෙහි තිබුණු ගෞරවය සම්පූර්ණයෙන්ම නැති වුණා.)දේශන මග හැර අසුවුවෝතින් මෙතුමාගෙන් කිසිම සමාවක් තිබුණේ නැහැ.අදාළ විෂය කරුණු සරලව තේරුම් ගත හැකි පරිදි පැහැදිලි කිරීම නිසා මේ දේශනය අපිට ඒ හැටි කම්මැලි වූයේ නෑ.මේ හේතුව නිසා හෝ ආචාර්යතුමාට තිබුණු බය නිසා හෝ බොහෝ විට මේ දේශනය සඳහා හැමදෙනා නොවරදවා සහභාගී වුණා.

සාමාන්‍යයෙන් අදාළ විෂය සඳහා සතිපතා පැවරුම් ලබා දෙනවා.පිළිතුරු පත භාරදිය දිය යුතු අවසාන දිනයත්,වේලාවත් මෙහිම සඳහන්.සිරිතක් වශයෙන් අවසාන දිනයේ අවසාන පැය තුළ මිසක් ඊට කලියෙන් නම් පැවරුම ආපසු භාර දෙනවා බොරු.ඒ තරමටම අපේ අය අධ්‍යාපනයට උනන්දුයි.පිරිමි ළමුන්ගේ උනන්දුව ගැන කියනවා නම් එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනෙක් අය නම් පැවරුම ලියන්නේත් නෑ.අත් අකුරු වැඩි දියුණු කර ගැනීම සඳහා පොඩි පන්ති වලදී හුරු වූ බලා ලිවීමේ පුරුද්ද මග හැර ගන්නට මේ වෙන කොටත් ඔවුනට අපහසුයි.බලා ලිවීමත් නොකොට ඉබේ පිළිතුරු පත්‍ර පහළ වෙනතුරු සිටින අයත් බොහෝමයි.
 
මේ කාලේ අපට කණ්ඩායම් හැඟීම කියන උණ තදින්ම තිබුණු කාලයක්.අපේ ආදරණීය සහෝදරයෝ වෙනුවෙන් අත් කඩාගෙන උදේ ඉඳන් පිළිතුරු ලිවීම තමයි මෙදිනට අපට තියන ප්‍රධාන රාජකාරිය.හැම ගැහැණු ළමයකුම අනිවාර්යයෙන්ම පැවරුම් 2,3 ක් නම් ලියන්න ඇති.මොකද කණ්ඩායමේ ගැහැණු ළමයින් හීටියේ 3:1 අනුපාතයට.ඒ කාලයේ නම් මේ කරන්නේ බොරු වැඩක් කියලා හිතුණේ නෑ කාටවත්ම.. දැන් නම් මතක් වෙද්දි හිතෙනවා අපට පිස්සු කියලා.ඒත් ඉතින් පැවරුම් වලටත් අවසාන පරීක්ෂණ වලදී යම් ලකුණු ප්‍රතිශතයක් ලැබෙන නිසා ඒ දේවල් ගැන සතුටු වෙන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් පැවරුම් ලකුණු කරන්නේ සහය කථිකාචාර්යවරුන් විසින් නිසා මේ පිළිබඳව ඒ හැටි ගැටළු මතු වන්නේ නෑ.

ඒ ඉතින් පිරිමි ළමයිනේ.මෙයාලා වගේම තමයි අපේ වනමලීත්.කවදාවත් පැවරුමක් කරන්නේ නෑ.ඒ තියා විෂය සටහන්වත් නෑ.මුල් සෙමෙස්ටරයේ තිබුණු විෂයයන් හයේම සටහන් තිබුණේ හාල්පොත වගේ පාවිච්චි කළ CR පොතක.ඒත් පිළිවෙලකට නෙවෙයි.ඔක්කෝම එක ගොඩේ.ඒක බැලුවාම පිස්සු හැදෙන්නේ අපට.සමහර පේළි නිකන්ම නිකන් දිග ඉරි කෑලි විතරයි.හැබැයි මොනා නැතත් වනමලී දේශන වලට සවන් දීගෙන නම් ඉන්නවා.අපි දේශන වලට සවන් දෙන අතර තුර වැදගත් කියලා හිතෙන කරුණුත් සටහන් කර ගන්නවානේ.විශේෂයෙන් කලින් කියපු ආචාර්යතුමා සමහර දින වලදී අපට ලියා ගැනීමට සටහන් දෙනවා.කියවන්නේ නිකන් සීඝ්‍රගාමී දුම්‍-රියක් යනවා වගේ.ඉතින් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ අමුතු ඉංග්‍රීසි වචන සමහර ඒවා ලියවෙන්නේ කෑලි.මේවා අයේ කියවනකොට ඔලුවට එන්නේ කිසිම සම්බන්ධයක් නැති වාක්‍යය.ශබ්ද කෝෂ පෙරළලා බලන විට සමහර අපි ලියාගෙන තියෙන වචන ඒවායෙත් නෑ.

මේ කියන දවසෙත් සුපුරුදු පරිදි අපේ ආචාර්යතුමා දේශන සඳහා පැමිණියා. ඒත් ඔහු අතේ කොළ මිටියක්.කිසි කෙනෙක් ඒ පිළිබඳව අවධානය යොමු කළේ නෑ.එදා තිබුණේ පැයක දේශනයක්.දේශනය විනාඩි 30කින් අවසන් කළ දේශක තුමා කොළ මිටිය අදින්න ගත්තා.දැන් අපට පේනවා මේ අපි කලින් සතියේ භාර දුන් පැවරුම් කියලා.මේවායින් එකක් අරන් එහි සඳහන් ලියාපදිංචි අංකය පැවසූ ආචාර්යතුමා අදාළ පුද්ගලයාට ඉදිරියට එන්න කීවා.අංකය අපේ මධුමතීගේ.ඇය ඉදිරියට ගියා.දැන් ආචාර්යතුමා ලොකු දේශනාවක් කරනවා.පැවරුම් කොපි කිරීම ගැන.ආචාර්යතුමාගේ හැටි දන්නා නිසා අපි හැමෝම දැන් බය වෙලා.මුලින් ඉංග්‍රීසියෙන් පටන් ගනිපු දේශනාව ටිකකින් සිංහල වුණා.මධුමතී ශාලාව ඉදිරියේ.මෙන්න ටිකකින් අපේ වනමලී අපි කිසිවකුට නොදන්වා යනවා තාරා ගමනින් ඉස්සරහට.

කියවිල්ල නවත්තපු සර් වනමලීගෙන ඇහුවා මෙහෙම.

සර්: why are you coming here?

බොහෝම බයාදු විදියට සර් දිහා බලපු වනමලී කියනවා මෙහෙම,

වනමලී: ස‍ර්....,මමයි මධුමතීගේ tute එක බලාගෙන කොපි කෙරුවේ.

ඒ කියපු විලාසයට නම් සර්ට පොඩි හිනාවක් ආවා.ඒත් ඒ බව නොපෙන්වා දෙන්නාටම අවසාන වතාවට සමාව දෙනවා කියලා හැමෝටම ආයෙත් ටිකක් අවවාදත් දීලා පැවරුම බෙදා ගන්න කියලා සර් ගියා.
වුණේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව හිටි අපට සිදුවෙලා තියෙන සන්තෑසිය තේරුම් ගියේ පැවරුම් අතට ආවාට පස්සේ.

අපේ වනමලීගේ බලා ලිවීම කොච්චර හොඳද කියනවා නම්, පැවරුමට අදාළ කරුණු විතරක් නෙවෙයි, පැවරුමේ මුල් පිටට දාලා තිබුණු මධුමතීගේ නමයි, ලියාපදිංචි අංකයයි එක්කම බලා ලියලා....

10 comments:

  1. මන් හිතුවේ කොපි කරන්නේ කොල්ලෝ විතරයි කියලා :-D

    ReplyDelete
  2. ම: ඒ අදහස වෙනස් කරගන්න එහෙනම්..:D

    ReplyDelete
  3. අනේද කියන්නේ...
    කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ මටත් ඔහොම්මම වුනානේ..
    "මචං කෝස්වර්ක් එක දීපන් පොඩ්ඩක්..." කියල කියපු එකෙක් සිරා ගේමක් දීලා තිබ්බා...
    අම්බානක බැනුම් ඇහුවා ඉස්සෙල්ලම මම...
    අරූ නම් කටක් ඇරියේ නෑ...
    දැන් විසාල කන්සල්ටන්සි සමාගමක අයිතිකරුවෙක් ඌ...

    ReplyDelete
  4. හෆොයි ඒක් කොපි නෙමේද මංදා........

    ReplyDelete
  5. තිස්ස දොඩම්ගොඩ: මගේ අප්පේ..හද ගී පොතෙනුත් ඇවිත් නොවැ.ස්තුතියි..ඔබතුමාලාගේ ආගමනය පොඩි අපිව දිරිමත් කරනවා..

    ReplyDelete
  6. හා පැටික්කි: අනේ...කැරට් අරන් හාවිත් ඇවිත්.එහෙනම් අපි නම වෙනක් කරමු හා පැටික්කියේ

    ReplyDelete
  7. සංසාරේ...! මෙතන කව්රුත් එකයි නෙව...
    ලියමු දිගටම...!!

    ReplyDelete
  8. මෙන්න තිස්ස අයියා වචනයක් හොරකම් ක‍රලෝ........ ඉන්නෝ........... මන් ගිහින් කියනවෝ..........

    ReplyDelete
  9. අනේ මල්ලියේ මටත් දැන් ඒක (සංසාරේ..!) නිතරම කියවෙනවා...!!!
    හෙහ් හෙහ් හෙහ්...
    ඒකත් කොපියක් නේ..?

    ReplyDelete
  10. මම හිත හිත හිටියේ මම මොනාද හොරෙන් ගනිපු වචනේ කියලා.වෙලාවට ඔබතුමා උත්තර දුන්නේ.

    ReplyDelete