Friday, January 28, 2011

හැබෑ යාළුවා

මේ වෙනකොට අපි පළමු වසර හමාර කරලා දෙවන වසරටත් ඇවිල්ලා.පළමු වසර අවසාන පරීක්ෂණය කාලේ එකට පාඩම් වැඩ කරන්න ගිහින් පටන් ගනිපු සහෝදර ප්‍රේමයක් වැඩි දියුණු වෙලා අපේ මධුමතී ප්‍රේමවන්තියක් බවටත් පත් වෙලා හිටියෙ එතකොට.ඔය කාලේ ඇරඹුනු,බොහෝ පෙම් කතා අතරමග නැවතුනත් මේ පෙම් කතාව නම් දිගටම ගලාගෙන ගියා.දැන් නම් කූඩුවකුත් හදලා.

ඔහු අපේ කණ්ඩායමේම හිටි මධුර.ඒ කාලේ මධුරට හිටියා තවත් මධුර වගේම පිස්සු යාළුවෝ ටිකකුත් සුරංග, එරංග, ඉෂාන්, රමිත් කියලා. මධුරයි, රමිතුයි,එරංගයි එකම ප්‍රමාණයේ වැඩිය උස නැති අය.ඒකට හරියන්න ඉෂානුයි, සුරංගයි හිටියා මෝල් ගස් දෙකක් වගේ. සුරංගට නම් උසට ගැලපෙන මහතක් තිබුණා.ඒකට ඉෂාන්.දැන් නම් ඉන්නවා දුටුගැමුණු බලකායේ දස මහා යෝධයෙක් වගේ.ඒ කාලේ නම් හයියෙන් හුලඟක් හැමුවත් ගහගෙන යන තරමට කෙට්ටුයි.උස වැඩි කමටද, කෙට්ටු වැඩි කමටද මන්දා හිටියෙත් කුදු වෙලා.

මධුරගේ යාළුකම නිසා මේ අයත් අපිත් එක්ක බොහොම හිතවත් වුණා. සති අන්තයේ නිවෙස් බලා ගොස් ආපසු එනවිට රැගෙන එන නොයෙක් නොයෙක් කෑම වර්ග වලින් පවා මේ අයගේ පංගුව වෙන් කර තැබීම අපේ සිරිතක්.මේ වෙනකොට තැන් තැන් වල විසිරිලා හිටි අපි කට්ටිය එක තැනකට ගාල් වෙලා හිටියේ. අපි කීව්වේ මා සහ මගේ අපාය සහායක මිතුරියෝ ටික.නේවාසිකාගාර දෙවනි වසරෙදි ලැබෙන්නේ නෑනේ.රමිත් ගේ පෙම්වතිය හා අපේම කණ්ඩායමේ සිසුවියක වු එරංගිගේ දැන් හැඳුනුම්කම් මත සොයාගත් ආයතනය අසළ නිවසක් අප හැමගේ නවාතැන වුවා.

සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් අපට දින කීපයක නිවාඩුවක් ලැබෙනවානේ.අවුරුදු නිවාඩුව අල්ලලා දින 4ක පොඩි චාරිකාවක් යන්න අපිට ඕනි වුණා.. චාරිකාවක් කීවේ අපි කට්ටියගේ ගෙවල් වන්දනා කරන්න.ගෙවල් වලට කණිපින්දම් කියලා බොහොම අමාරුවෙන් අවසර අරගෙන අවුරුදු දවස් පහු වෙලා 16 වෙනිදා අපි හැමෝම කොටුව දුම්-රිය ස්ථානයට එකතුව වෙලා ගමන් ඇරඹුවා කෝච්චියේ කුරුණෑගල යන්න.මුලින්ම වනමලීගේ ගෙදර.ඊළඟට සඳමලීගේ.වනමලී එනවා කීවේ කුරුණෑගලට.ඉතින් අපේ සහායට මග පෙන්වන්නෝ විදියට එදාට විතරක් එන්න අපේ මිතුරෝ කැමති වුණා.දවල් අහාරය වනමලීගේ නිවසෙන් සප්පායම් වෙලා,හවස් වරුවේ සඳමලීගේ නිවසත් පැදකුණු කරලා අපේ මිතුරෝ යන්න ගියා.එදා රෑ අපි කට්ටිය නැවතුණේ සඳමලීගේ ගෙදර.ඊළඟ දවසේ ගමනාන්තය ගම්පහ පළාතේ.ඒ පැත්තේ බොහොම ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් කිට්ටුව තමයි අපේ මංගලී හිටියේ.අපේ ඉෂානුත් ඔය අහල පහළම.මංගලීගේ නිවසෙන් එදා දවල් ආහාර අරගෙන අපි ගියා ඒ සිද්ධස්ථානයට උපන් දා සිට කරපු පව් සමා කර ගන්න.තව ඒ කිට්ටුව හිටි අපේ කණ්ඩායමේම සංඛත්, ඉෂානුත් ඒ සිද්ධස්ථානයට ඇවිත් හිටියා.

සිද්ධස්ථානේ වැඳපුදා ගත්තාට පස්සේ අපි ආපසු ගමන් ඇරඹුවා මංගලීගේ නිවස බලා.ඒ මාර්ගයේම ටිකක් එහාට වෙන්න තමයි ඉෂාන් ගේ නිවස තියෙන්නේ කියලා මංගලී කියන කොටම අපේ වනමලී කීවා "එහෙනම් ඉෂා අපි දැන් එහෙත් එන්නම්" කියලා. ඉෂාන් ටිකක් වෙලා කල්පනා කරලා
"හා එහෙනම් යමුකෝ,හැබැයි ටිකක් දුර පයින් යන්න ඕනි,කමක් නෑනේ " කියලා අදාළ බස් නැවතුමෙන් බැස්සා.එතන ලොකු හන්දියක්.කොච්චර වෙලා යයිද පයින් යන්න කියලා අහද්දී මෙන්න ඉෂාන් කියනවා විනාඩි 45ක් විතර යන්න ඕනෙලු.එහෙනම් ත්‍රී වීල් වල යමු කියලා ,ත්‍රී රොද රථ 3ක් අරගෙන අපි දැන් යනවා ඉෂාන්ලගේ ගෙදර.මගේ අප්පේ එහෙම යාමක්.ත්‍රී වීල එකේම ගියා විනාඩි තිහක්.පාරට තාර දාලත් නෑ.වල ගොඩැලි එමට.වලවල් වල වැටි වැටී ගැස්සී, ගැස්සී වංගු සහිත පාරක ඔය වගේ ගමනක් විනාඩි 30ක් යනකොට දැනෙන සනීපෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.අපි මග දිගට කතා වුණේ මේ පාරේ විනාඩි 45කින් පයින් යනවා ඇත්තේ ඉෂාන් දුව දුව වෙන්න ඇති කියලා.

ගිහින් ගිහින් තව අතුරු පාරකත් ගියාද මන්දා.කොහොම හරි පාරේ කෙළවරම වෙල් යායක් එක්ක ටිකක් ලොකු වත්තක මැද්දේ තමයි ඉෂාන් ගේ තිබුණේ.ත්‍රීවීල් තුන පේළියට ගිහින් නැවැත්තුවා.දොර ගාව මතු වුණා බොහොම සද්දන්ත කෙනෙක්.ඉෂාන් ඇරුණාම ගෙදර ඉන්න එකම පිරිමියා ඉෂාන්ගේ තාත්තා බව දන්න නිසා අපි දැන ගත්තා ඒ කව්ද කියලා.තාත්තාගේ ඇස් එළියට පනින්න ඔන්න මෙන්න.දැන් අපි එකා එකා බහිනවා.මේ කොහෙන් ආපු අයද කියලා තාත්තා බලන්න ඇති."ඔය ළමයි.. "කියලා අහන කොටම අපේ ඉෂානුත් බැස්සා එළියට."අපි ඉෂාන් ගේ යාළුවෝ තාත්තේ" කියලා අපේ වනමලී උත්තර දුන්නා.තාත්තා ඉෂාන් දිහාත් බලලා ගේ ඇතුළට ගියා.

ඊට පස්සේ අක්කලා ඇවිත් අපිව පිළි ගත්තා.ඉෂාන්ගේ අක්කලා අම්මා අපිට උපරිමෙන් සංග්‍රහා කළා.තාත්තාත්  අපි එක්ක කතා බහ කළා වෙනසක් නැතිව.ඉෂාන්ගේ වත්තේ පළතුරු පිරිලා.වෙල අයිනට වෙන්න පොඩි මඩු කෑල්ලකුත් තිබුණා මතකයි.ඒක අපේ ඉෂාන් ගේ පන්ති පවත්වන ස්ථානය කියලා තමයි අක්කලා කීවේ.අයේ ඉතින් ආරාධනා කරනකන් ඉන්නේ මොකටද කියලා අපි ඵලවැලත් නෙළන්න ගත්තා.අම්මා වරක ගෙඩියකුත් කඩලා සුද්ධ කරලා දුන්න මතකයි..ගස් වෙල ගෙඩි හැදෙන්නේ කන්නනේ ඉතින්.එතකොට තමයි හොඳම වැඩේ වුණේ.අපි ගස් පාළු කරන කොට තාත්තා ආවා අපේ උදව්වට.කතා කරන ගමන් අපි එක එක්කෙනාගේ විස්තර අහනවා.එක එක්කෙනාගේ මුණු හොඳට බලනවා.ඉෂාන් පේන්න හිටියේ නෑ.ටිකකින් තාත්තා අහනවා
"දැන් එතකොට ඔය ළමයින්ගෙන් කව්ද ඉෂාන්ගේ හැබෑ යාළුවා...?"
අපි කකා හිටි පේර හිරවුණා වගේ අපිට දැනුනේ.වනමලී ඉක්මනටම කීවා "අපි ඔක්කොම හැබෑ යාළුවෝ තමයි තාත්තේ" කියලා.තාත්තා මොනා හිතුවාද දන්නේ නෑ.

ඊට ටික වෙලාවකට පස්සේ අපි එහෙන් ආවා.අම්මයි,අක්කලාත් අපි එක්ක ඇවිත් තවත් කොහේදෝ පන්සලකටත් අපිව එක්කන් ගියා.එතනත් වැඳලා අපි එන්න ආවා මංගලී ගේ ගෙදර.ආයේ එහෙ එන්න කියලා අක්කලාගෙන් ආරාධනයකුත් ලැබුණා.

මංගලීගේ ගෙදර ඇවිල්ලත් අපි හිනා වෙවී කතා වුණේ තාත්තා අහපු ප්‍රශ්නෙ ගැන.එවෙලේ ගානක් නැති වුණත්,කෙල්ලෝ 8ක් එක්ක ලොකු හන්දියකින් බැහැලා එනකොටයි, කෙල්ලො 8ක් එක්ක තාත්තා ඉස්සරහා ත්‍රී වීල් වලින් බහින්නයි වුණාම ඉෂාන් කොච්චර ලොකු අපහසුතාවකට පත් වෙන්න ඇතිද කියලා අපිට තේරුණේ එතකොට.ඉෂාන් ගේ හොඳ කමට අපිට එන්න එපා කීවේ නෑ.තාත්තාට වුණත් මොනා හිතෙන්න ඇතිද තමාගේ එකම පුතණ්ඩියා කෙල්ලෝ රෑනක් එක්ක ගෙදරට ආවාම.

දැනටත් අපි කට්ටිය එකට මුණ ගැහුනාම මේ සිද්ධිය මතක් කරලා හිනා වෙනවා.ඉෂාන් නම් තාමත් දන්නේ නැතිද මන්දා මේ ගැන.

4 comments:

  1. වනම ලී, සඳම ලී, මංග ලී...!!!
    චීන ළමයි ද...?

    ReplyDelete
  2. නැහැ..නැහැ..චීන නම් තියෙන ලංකාවේ ළමයි....:D

    ReplyDelete
  3. aththatama mama ada thama oya kathawa danagaththe ....

    Dan nam thaththa asanipen. Habema yaluwek thamath nehe


    lassanata liyala thiyawana........... Digatama liyamu ............. Jaya wewa

    ISHAN

    ReplyDelete
  4. කොහොමටත් තාත්තට කොල්ල ගැන ආඩම්බර හිතෙන්න ඇති !

    ReplyDelete