Tuesday, January 25, 2011

දෙවෙනි දවසේ

හා හා පුරා කියලා ඊයේ ලියලා ගිය පෝස්ට් එකට කට්ටිය ඇවිත් කොමෙන්ටුත් දාලා.හැමෝටම ස්තුති ආයෙමත්.ලියපු දේට තත්ව සහතික දෙන්න පුළුවන් ඒ ඇත්තොන්ටම තමයි.ඒත් දිගටම ලියන්න පුළුවන් වෙයිද කියන එක නම් හිතන්න කාරණයක්.කවදා ලියාපු බ්ලොග් ද කීවාලු.ඊයේ රෑ නින්දට ගිහිල්ලත් කල්පනා කළේ ලොකුවට පටන් ගත්තාට දැන් මොනවාද ලියන්නේ කියලා.කොහොම වෙතත් ඉදිරිය ගැන මේ සතිය පහු කරලාම බලමු.

මට ඉන්නවා ප්‍රාණ සම මිතුරියෝ අට දෙනෙක්.මේ අය මට මුණ ගැහුණේ පාසල් අධ්‍යාපනය හමාර කරලා උසස් අධ්‍යාපනය ලබන කාලේ.පාසල් කාලයේ හිටිය හොඳම මිතුරියන්ගෙන් දැනටත් ඉඳලා හිටලා හරි දුරකථන ඇමතුමක් හරි දෙන්නේ එක්කෙනෙක් පමණයි.අනික් අයගේ යාළු කම් මූණු පොතට විතරක් සීමා වෙලා.මේ කියන මිතුරියන් එහෙම නෙවෙයි.දුකට සැපට හැම දේටම එකා වගේ ඉන්න අය.මේ අයගේ ගම් පළාත් කුරුණෑගල,කළුතර, ගාල්ල, ගම්පහ, කොළඹ, මහනුවර ආදී ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක වල.මේ වෙනකොට විවිධ රැකියා වල නිරත වුණත් අවශ්‍ය වෙලාවකදී මොන ලෝකේ ඉඳන් හරි එන්න මේ අය පසුබට වෙන්නේ නෑ.වනමලී,සඳමලී,සපුමලී,මධුමතී,ලිලානි,මනෝරි,මංගලී,මැණික් තමයි මේ අය.මේ එකක් වත් සැබෑ නම් නෙවෙයි.

ඉතින් ඔය කියන කාලේ අපි උසස් අධ්‍යාපන ආයතනයට ඇතුල් වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.අපිට මාස 4 ක්ම ඔය වැඩේ කරන්න වුණා අපිට පස්සේ අවුරුද්දේ උසස් පෙළ කරපු අයත් එනකන්.අපි කලින් අවුරුද්දේ  අගෝස්තුවේ උසස් පෙළට පෙනී සිටියත්,මේ කියන අවුරුද්දේ උසස් පෙළ තිබුණේ අප්‍රේල් වල.ඒ වර්ෂයේ අග භාගයේ ඉඳන් ඊළඟ වර්ෂයේ මාර්තු වෙනකන්ම අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණා පාසල් යන කාලේ අවුරුදු 11ක් ඉගෙන ගත්තා මදිවට.මේ කාලයට සමාන්තරවම ඒ ආයතනයේ තිබුණා නවක සිසු සිසුවියන් හඳුනා ගන්නා වැඩ සටහනක්.ජ්‍යෙෂ්ඨයෝ විසින් සංවිධානය කරපු.මේ වැඩසටහන නොයෙක් අය නොයෙක් ආකාරයෙන් අර්ථ දක්වනවා.ඒ දේවල් ඒ අයම කතා කරගනිපුවාවේ.

ඉතින් අපේ සමහර අය මේ වෙනකොට නේවාසිකාගාරෙත්, සමහර අය ආයතනය අවට නිවෙස් වලත් තමයි නවාතැන් ගෙන හිටියේ.නේවාසිකාගාර ලබා දෙන දුර අනුව මට නේවාසිකාගාර පහසුකම් ලැබුණේ නැහැ.මාත් හිටියේ අවට නිවසක.අපි කට්ටිය බොහොම එකතුයි මේ කාලෙත්.අපේ වනමලී ඒ කාලයේ බොහොම මහතයි.ඇවිදින්නෙත් තාරාවෙක් යනවා වගේ දෙපැත්තට වැනි වැනී.වනමලී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොතුහැර කියන ගම් පළාතේ.වනමලී ගැන කියනවා නම් අංක් එකේ පිස්සු පූසියෙක්.බොහෝම හිත හොඳ කෙනෙක්.නොදන්න කෙනෙක් කතාවට වැටුණොත් බලන් හිටියා වගේ බොරු කියලා එයා ගැන හොඳටෝම දන්න වග අගවන්න ඇය හරිම දක්ෂයි.දැන් ඇය අගනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක උසස් පෙළ ගුරුවරියක් ලෙස කටයුතු කරනවා.

ජ්‍යෙෂ්ඨයෝ සංවිධානය කළ හඳුනාගැනීමේ වැඩ සටහන සඳහා අපි හැම දෙනාම අනිවාරෙන්ම සහභාගී විය යුතුයි.මේ සඳහා නියමිත වෙලාවක් තිබුණා.බොහෝ වෙලාවට අධ්‍යයන කටයුතු නිමවීමෙන් පසු එළඹෙන පැයක පමණ කාලයක් මේ සඳහා ඔවුන් යොදා ගත්තා.2.30 වෙද්දී ඉංග්‍රීසි පන්තිය හමාර වන නිසා කාල වේලාව පිළිබඳ ගැටළුවක් පැන නැගුණේ නෑ.මේ වැඩ සටහන ක්‍රියාත්මක වුයේ ආපන ශාලාවක් තුළදී.ජ්‍යෙෂ්ඨයෝ පිළිබඳව අප තුළ වූයේ බිය මුසු ආකල්පයක් වූවත් වනමලී ඔවුන් දෙස බැලුවේ වෙනස් ආකාරයකින්.යම් කිසි මාතෘකාවක් යටතේ ඉදිරියට ගොස් කතාවක් කිරීමකදී වුවත් ඇය කළේ අදාළ මාතෘකාව ඔස්සේ පටන් ගෙන ඊට ‍කිසිම අදාළත්වයක් නැති හාස්‍ය මුසු මගකින් කතාව හමාර කිරීමයි.මේ නිසා ඇය ජ්‍යෙෂ්ඨයින්ගේ බැනුම් වලට ලක්වෙන වාර අනන්තයි.නරඹන අපට එය මහත් විනෝදයක් ගෙන දුන් අතර සමහර ජ්‍යෙෂ්ඨයෝ පවා අපට හොර රහසෙන් ඇයගේ මේ විකාර වලට සිනාසෙනවා අප දැක තිබේ.

මෙදින තිබුණේ ඉදිරියට ගොස් තමා පිළිබඳව කෙටි විස්තරයක් කිරීමට.දැන් වනමලීගේ වාරය.ඇය ඉදිරියට ගොස් අපට මුහුණලා සිටිනවා.ඇයට පිටුපසින් ජ්‍යෙෂ්ඨයෝ රැසක්.දැන් එක් ජ්‍යෙෂ්ඨයෙක් ඇගෙන් ප්‍රශ්න කරනවා.
 ජ්‍යෙෂ්ඨයා : නම?
 ඇය : වනමලී
 ජ්‍යෙෂ්ඨයා :  ගම?
 ඇය : කුරුණෑගල පොතුහැර
 ජ්‍යෙෂ්ඨයා : පොතුහැර ප්‍රසිද්ධ මොනාටද කියලා දන්නවාද?
 ඇය : ඔව්
 ජ්‍යෙෂ්ඨයා : මොනවටද?
 ඇය : බොරු වලට

දැන් අපි හැමෝම හිනා තද කරගෙන ඉන්නවා.සමහර පසුපසට ජ්‍යෙෂ්ඨයෝ හැරී හිනා වෙනවා.මේ අතර   අර කලින් කතා කළ ජ්‍යෙෂ්ඨයා තව ජ්‍යෙෂ්ඨයකු ඉදිරියට කැඳවා පෙන්වමින්,
ජ්‍යෙෂ්ඨයා : මේ ජ්‍යෙෂ්ඨ උත්තමයාව දැකලා තියනවාද?
ඇය : ඔව්
ජ්‍යෙෂ්ඨයා :කොහේදීද?
ඇය :  කුරුණෑගලදි
ජ්‍යෙෂ්ඨයා :කුරුණෑගල කොහෙදිද?
ඇය : දුම්-රිය නැවතුම් පොළේදියි,කෝච්චියේදියි.(මේ වෙලාවේ අපිට ඉංග්‍රීසි වචන කියන්න තහනම්)
ජ්‍යෙෂ්ඨයා :එතන මොනා කරනවාද?
ඇය :මෙතන කීවට කමක් නැතිද?
ජ්‍යෙෂ්ඨයා : මෙතන නැතිව කොහේ ගිහින් කියන්නද?කියන්නයි කිව්වේ.(රකුසු වෙස් ගෙන අඩි පොළවේ හප්පමින්)
ඇය : කෝච්චියේ කඩල විකුණනවා

හැමෝටම හිනා නවත්තගන්න බෑ.එතෙක් වෙලා යකා මූණක් ආරූඪ කරන් සිටි ජ්‍යෙෂ්ඨයාට තමා සිටින්නේ කොතැනද කියලාත් අමතක වෙලාගියා.

12 comments:

  1. මාර කෙල්ලක්නේ. අර ජ්‍යෙෂඨයා ඊට පසුවත් එතන හිටියද???

    ReplyDelete
  2. හපෝයි.............
    හිනා වෙලා මගේ හක්ක පැන්නාද කොහේද....... :D

    ReplyDelete
  3. ප්‍රියන්ත:ඔව්,එයා නම් මාරම කෙල්ලක් තමයි.එයා ඉන්න තැන රස සාගරයක්

    ReplyDelete
  4. සෝරෝ:හි හී..පරෙස්සමෙන්, මේ වගේ කතා තව ඕනා තරම්..:D

    ReplyDelete
  5. කකා හිටපු කෑම ටිකත් ඉස්මොල්ලෙ ගියා වගේ හිනා වෙච්ච තරමට. අපූරුයි සහෝදරී.....

    ReplyDelete
  6. අපි නොදන්න පොතුහැර වනමලී කවුද ආ... නංගි අහලා බලන්න මාව දන්නවද කියලා?

    පොතුහැර ඉන්නේ පිස්සු කෝච්චි.... අර අකේලේ හම් ලියන දිනේශ් මලයා පේන්නෙ නැද්ද? ඌත් එහෙමනේ....

    ReplyDelete
  7. හෙහ් හෙහ් ෆට්ට කෙල්ලෙක්නේ :)

    ReplyDelete
  8. හපොයි දෙය්යනේ මෙහෙමත් කෙල්ලො... මයෙ අම්මෝ ආයේ කෙල්ලෙක්ට මොකුත් කියන්නත් බයයි වගේ දැන්නම්.... :D

    ReplyDelete
  9. පොලා:රජයේ අවවාදයයි;බ්ලොග් කියවමින් ආහාර ගැනීම සෞඛ්‍යට අහිතකර විය හැක.

    අභීත:එයාගෙන් ඇහුවොත් නොදන්නවා වුණත් දන්නවා කියලා චරිත ලක්ෂණත් එක්කම කියයි.

    ජේ.ඩී:හී..හී..

    අනුරාධ:මේ දවස් වල ජ්‍යෙෂ්ඨ චරිතයක්වත් රඟපානවාද?...

    ReplyDelete
  10. රැග් එක ඒක පාර්ශවික දෙයක් නොවන බව මේ කතාවෙන් පැහැදිලියි!

    ReplyDelete
  11. අම්මෝ...කතන්දර ශූරීනුත් මේ පැත්තේ ඇවිත් නොවැ.ඒකට නම් බොහොම සතුටු හිතුනා.බොහෝම ස්තුතියි.

    ReplyDelete
  12. පොතුහැර පොරක් නම් ඉතින් අහන්න දෙයක් නෑ, එල කිරි වගේ!

    ReplyDelete